Open top menu
Showing posts with label ජීවිතය. Show all posts
Showing posts with label ජීවිතය. Show all posts
Friday, 28 December 2018
උඩරට මැණිකේ සමග සුන්දර බදුලු පුරවරයෙන් නුවරට (Part 1)

උඩරට මැණිකේ..... ලැසි ලෙසි ගමනේ......
උඩරට මැණිකේ ලැසි ලෙසි ගමනේ
කොහේද යන්නේ.......................
සුභ දවසක් කස්ටියටම.උඩ තියෙන ගීත කොටස දැක්ක ගමන් හිතාගන්න පුලුවන්නෙ අද නම් Technical දෙයක් වත් E-money ගැන තොරතුරක් වත් නෙමෙයි අරන් ආවේ කියල.ඊට වඩා ගොඩක් රසවත් දෙයක්.පරිසරයට අපි කවුරුත් ආදරෙයිනෙ.ඒ වගේම පරිසරය විදින්නත් ගොඩක් අය කැමතියි.අන්න ඒ වගේ අයට බලන්න තමයි මේ පෝස්ට් එක ලියන්නෙ.

ගොඩක් අය දන්නව ඇති බදුලු දිස්ත්‍රික්කය කියන්නෙ ලංකාවෙ තවත් එක් ලස්සන සුන්දර පළාතක් කියල.හැබැයි ඒ සුන්දරත්වය ගොඩක්ම විදගන්න පුලුවන් බදුල්ලෙ ඉදන් කොළඹට/නුවරට උඩරට මැණිකේ එක්ක හරි පොඩි මැණිකේ එක්ක හරි යනකොට තමයි.(හික්..උඩරට මැණිකේ/පොඩි මැණිකේ කියන්නෙ බදුල්ලෙ ඉන්න කෙල්ලො දෙන්නෙක් නම් නෙමෙයි ඕන්.අපේ අය කෙල්ලොන්ටත් ආදරේට කියන්නෙ මැණික කියලනේ :D ඒකයි මම මේක ඉස්සෙල්ලම කිව්වෙ) 

උඩරට මැණිකේ/පොඩි මැණිකේ කියන්නෙ බදුල්ලෙ ඉදල කොළඹට ධාවනය වන දුම්රිය දෙකක්.(වැඩි විස්තර ඕන නම් මෙතන්ට ගිහින් බලන්න පුලුවන්) බදුල්ල හා ඒ අවට සුන්දරත්වය බලන්න එන කෙනෙක් ඉන්නව නම් අනිවාර්යෙන්ම මේ දෙන්නගෙන් එක්කෙනෙක් එක්ක යන්නම වෙනව.නැත්නම් ඒ සුන්දරත්වය විදගන්න වෙන්නෙ නෑ කියලයි මට නම් හිතෙන්නෙ.ඉතින් අපිත් ගිය සතියෙ පොඩි මැණිකෙ එක්ක නුවර ගියා.ඒ අත්දැකීම ඔයාලත් ඒක්ක බෙදා ගන්නයි මේ සූදානම.

බදුල්ලෙ ඉදල පොඩි මැණිකේ පිටත් වෙන්නෙ උදේ 9.10 ට.(උඩරට මැණිකෙ බදුල්ලෙන් උදේ 5.55 පිටත් වෙන නිසා අපිට යන්න උනේ පොඩි මැණිකෙත් එක්ක තමයි)අපේ කට්ටියත් 8.45 ට විතර Station එකට ඇවිල්ල තිබුණ.කට්ටිය ඇවිල්ල තියෙන්නෙ නිකම් නම් නෙමෙයි. "බොන්ගො" (මේකට කියන නම නම් මම හරියටම දන්නෙ නෑ.කට්ටිය කිව්වෙ ඔන්න ඔය නම තමා.සංගීත භාණ්ඩයක්) එකක් එහෙමත් අරගෙන තමයි ආවෙ.කට්ටිය කිවුවට එක්කෙනක් නම් ආවේ කෝච්චිය පිටත් වෙන්න විනාඩි දෙකකට විතර ඉස්සෙල්ල. (එයා නම් කොහොමත් වෙලාවටමයි වැඩ. :P )

මේ තියෙන්නෙ බදුල්ල දුම්රිය ස්ථානයේ පින්තූරයක්
අපි ටිකට් එහෙම අරන් (නුවරට ටිකට් එකක් රු.145 යි) කෝච්චියට නැග්ග.තුන්වෙනි පන්තියෙ පෙට්ටියක් තමයි අපිට නම් තිබුනෙ.අපි හිටිය පෙට්ටියෙ වැඩිය සෙනග හිටියෙ නෑ.ගොඩක් අය පොඩි ළමයින්ව බදුල්ලෙ ඉදන් බණ්ඩාරවෙලට කෝච්චියෙ එක්කන් යන්න තමයි ඇවිත් හිටියෙ.එදා නිවාඩු දවසක් නිසා වෙන්න ඇති.

ඔන්න එතකොටම තවත් කට්ටියක් අපේ පෙට්ටියට ආව සංගීත භාණ්ඩයක් එහෙම අරගෙන (ඒකේ නමත් මම දන්නෙ නෑ.සිංදු අහනව මිසක් ඕව ගැන හොයන්නෙ නෑනේ).ඒ අයත් අපි ඉන්න පෙට්ටියෙම යන්න තමා ඇවිත් තියෙන්නෙ මොකද අපේ ලගත් බොන්ගෝ එකක් තිබුණ නිසා, එයාල හිතන්න ඇති අපිත් එක්ක ගියොත් ඒ අයටත් හොදට විනෝද වෙන්න පුලුවන් කියල.

අපිත් එක්ක ඒ අය කතා කරනකොට තමයි දැනගත්තෙ එයාල එක්තරා පක්ෂයක සාමාජිකයන් පිරිසක් කියල.ඒ අයත් අපි වගේම චාරිකාවක් යනව.හැබැයි නුවර නම් නෙමෙයි. කස්ටිය කියපු විදියට එයාල යන්නෙ රක්ෂිත වනාන්තරයක් බලන්න වෙන්න ඕන.එදා සෙනසුරාද දවසක් නිසා එතන ගොඩක් අය හිටිය.ඔන්න ඒත් එක්කම කෝච්චියත් බදුල්ලෙන් පිටත් උනා.වෙලාව 9.10 ට විතර ඇති.

පොඩි මැණිකේ හෙමින් හෙමින් බදුල්ල දුම්රිය ස්ථානයෙන් ඈතට ඇදුන.අපේ කට්ටිය වගේම කෝච්චියෙ ගිය ගොඩක් අය හරිම සතුටින් තමයි ගමන පිටත් උනේ.ටික දුරක් ගියාම අපිට සෙට් උන අර පක්ෂෙ  කස්ටිය අපේ කස්ටියත් එක්ක එකතුවෙලා සංගීත සාජ්ජෙ පටන් ගත්ත.මුලින්ම පොඩ්ඩක් හෙමින් තමයි සාජ්ජෙ පටන් ගත්තෙ.

ඒ කණ්ඩායමෙ හිටියෙ අපිට වඩා තරමක් වයසක අය ඉතින් එයාල පටන් ගන්න සිංදු අපේ අය දන්නෙත් නෑ.ඒත් අපි හොද සහයෝගයක් දුන්න.අතරමැදදි අපි දන්න සින්දුත් කිව්ව නිසා සාජ්ජෙ ජයටම තිබුන.මට හිතුන විදියට අපේ සාජ්ජෙ අනිත් පෙට්ටිවල ඉන්න අයටත් ඇහෙන්න හොද සද්දෙට තිබුණ මොකද අපේ නව දෙනයි එයාලගේ කස්ටියයි ගොඩක් හිටිය නිසා.

මේ ඉන්නෙ අපි
 මේ ඉන්නෙ අපිත් එක්ක විනෝද වෙන්න ආව කණ්ඩායමෙන් ටික දෙනෙක්



බදුල්ලෙ ඉදල බණ්ඩාරවෙලට යනකොට හමුවෙන සුන්දර පරිසරය තමයි මේ තියෙන්නෙ







 අපි බණ්ඩාරවෙලට ආවෙ හාලිඇල,දෙමෝදර හා ඇල්ල දුම්රිය ස්ථාන පහුකරගෙන.බණ්ඩාරවෙලට එන්න පැය 1 යි විනාඩි 20 ක් විතර යන්න ඇති.ඒත් ගිය වෙලාව අපට දැනුනෙ නැත්තෙ සිංදු කිය කිය  විනෝදයෙන් ආව නිසා වෙන්ට ඇති.බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් බොහෝ දෙනෙක් බැහැල ගියා.ඒ වගේම අපිත් එක්ක ආපු පක්ෂෙ මිතුරන්ට තවත් කණ්ඩායමක් බණ්ඩාරවෙල දී එකතු උනා.බදුල්ලෙ ඉදල බණ්ඩාරවෙලට ආව ගමන ගොඩක් විනෝදජනක එකක් උන බව නම් අපේ කස්ටියගේ මූණු වලින් ම පෙනුන.

ලියන්න නම් ගොඩක් දේ තියෙනව.ඒත් කාලය ඒවට හරස් වෙන නිසා කෙටියෙන්ම පෝස්ට් එක ලිව්ව.ගමනේ ඉතිරි කොටස ඊළග පෝස්ට් එකෙන් දාන්න කියල තමයි හිතන් ඉන්නෙ.
Read more
Thursday, 27 February 2014
ෂර්ලොක් හෝම්ස් ආපසු එයි


ෂර්ලොක් හෝම්ස් ගේ රහස් පරික්ෂක කතා නොබලපු කෙනෙත් නැති තරම්. ඒ තරමටම මේ කතා ගොඩක් රසවත්. ඒ අතරින් "ෂර්ලොක් හෝම්ස් ආපසු එයි" කියන පොතේ චිත්‍රපටය තමයි මේ තියෙන්නේ. මේක පරණ චිත්‍රපටයක් නිසා ගොඩක් අය බලල නැතිව ඇති. මමත් බැලුවෙ අද තමයි. ඒකත් අහම්බෙන්.පරණ උනාට චිත්‍රපටය ලස්සනයි. කැමති අයට බලන්නත් එක්ක මම මේ පෝස්ට් එකට වීඩියො එක දැම්ම. ‍


Read more
Sunday, 12 August 2012
Man Vs. Man

වැඩ වැඩ වැඩ..අපි හැමෝම මැරෙනකම් ඉවරයක් නැති වැඩ.සල්ලි හොයන්න අපි ඉවරයක් නැති වැඩ.සල්ලි මොකටද..??කන්න බොන්න අදින්න පළදින්න.වෙලාවකට හිතෙනවා අපිට පිස්සු කියල.අපි අපේ කාර්‍යබහුලත්වයත් එක්ක හිරවෙලා ඉන්නේ මොකටද කියලා වෙලාවකට හිතෙනවා..සමහරු නැහිල නැහිලැ තුට්ටු දෙකක් හොයනවා..සමහරු නිකම් ඉදලා ලොකු ලොකු පඩි ගන්නවා..සමහරු අනිත් අයටත් ‍පඩි හොයන්න තමන්ගේ ජීවිත කාලෙම රස්සාවට කැප කරනවා..ඒ අස්සේ මිනිස්සු වැඩ කරන මිනිස්සුන්ට බාල්දි පෙරලනවා..ඒත් ඒ මිනිස්සුන්ට ඒවා කරා කියලා ලැබෙන දෙයක් නෑ..කුහකත්වය.ඉරිසියාව වගේ දේවල් වලින් හිත් පිරිලා..එහෙව් දේවල් කරන්නේ වැඩක් කරන්න බැරි වැඩ කරගන්න බැරි මිනිස්සු තමයි කියලත් අපි දන්නවා.හැමෝටම එහෙම අත්දැකීම් තියනවා..

රස්සාව ජීවිතේ කරන් ජීවත් වනවාට වඩා ජීවත් වෙන්න රස්සාවක් කරන එකය් හොදම කාරණාව.මොකද අපිට වටින්නේ අපේ ජීවිතේ නිසා.තමන්ගේ දක්ෂකමට කොහෙත් පිළිගැනීමක් තියෙනවා.ඒව‍ට හොද වටිනාකමක් තියනවා.ළිං මැඩියෝ වගේ ඉන්න සමහරු උඩට නගින මිනිස්සුන්ගේ කකුළින් අදිනවා.සමහර විට උන් ජය ගන්නවා .. තවත් විටක අපි ජය ගන්නවා..මොන දේ කරත් කෙලින් යන මිනිහව
වලක්වන්න කාටවත් බෑ කියල අර කකුළින් අදින මිනිහත් දන්නවා..කොයි හැටි වෙතත් පාර වදින්නේ වැඩ කරන මිනිහටමනේ කියල අපි හැමෝම දැනගන ඉන්න වෙනවා..මොකද ගල් පාරවල් පොළු පාරවල් වදින්නේ ගෙඩි තියන අඹ ගස්වලටනේ..

හැම වෙලේම කාටත් පොදු කාරණාව ප්‍රශ්ණ..ප්‍රශ්ණ නැත්නම් ජීවිතේකුත් නෑ.ජීවිතේ මුවහත් වෙන්නේ ප්‍රශ්න වලින්.අලුතින් අපිට එන ප්‍රශ්නයක් කාලෙත් එක්කම සාමාන්‍ය වෙනවා..එතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ.හැබෙයි ප්‍රශ්නෙට උත්තරයකුත් අත ලගම තියනවා.ඒ උත්තරේ සොයා ගැනීමයි අපේ දක්ෂකම..ඒ වගේම නිශ්ශබ්ධව සිටීමත් ප්‍රශ්නෙට පිළිතුරක් නෙවේ..එහෙම වෙනකොට අනිත් පාර්ශවය අපේ ඔළුගෙඩි වලට අතහෝදනවා.ඕනම දරුණු ප්‍රශ්නයක් විසදන්න පුළුවන් හැටියක් තියනවා..ජීවත් වෙන ටික කාලේ අපි අනිත් මිනිස්සුන්ට ප්‍රශ්නයක් නොවුනත් අපිට සමහර මිනිස්සු ප්‍රශ්ණ වෙන වාර අනන්තයි අප්‍රමාණයි.එහෙම වෙන්නේ අපේ හිත් හොද නිසා වෙන්න පුළුවන්..හිත හොද ගෑනී හැමදාම බඩින් කිව්වේ අන්න ඒකයි.

හැමදාම කියන්නා වගේ මේ ලෝකය හරිම පුදුමාකාරයි..මේ ලෝකේ ඉන්නේ මිනිස්සු වර්ගදෙකයි හිත හොද මිනිස්සු සහ හිත හොද නැති නරුම මිනිස්සු.අපිත් අපේ තරම දැනගන..අතේ දුරින් තබා ගත යුත්තන්..ළගට ගත යුත්තන් සහ ඇසුරු නොකල යුත්තන් තරමින් දැනගෙන ජීවිතේ ගෙවන එකයි අවැසිම දේ..
 
උපුටා ගැනීම - හසිත හේරත් සොහොයුරාගේ Facebook ගිණුමෙනි.
Read more
Friday, 30 December 2011
අද තමයි හොදම දවස...

සුභ උදෑසනක් කට්ටියටම.මම කලින් පොස්ට් එකෙන් කිව්වා ඒක තමයි මේ අවුරුද්දෙ මගේ අන්තිම පෝස්ට් එක කියල.ඒත් මට හිතුන අදත් පොස්ට් එකත් දැම්මොත් හොදයි කියල.ඒ මොකද අද මේ වසරෙ අවසාන දවස නිසා. අපිට නොදැනීම කාලය හරි වේගෙන් ගෙවිල යනව නේද? මට නම් එහෙම හිතෙනව. මේ අවුරුද්ද දිහා ආයෙත් හැරිල බැලුවම මේ අවුරුද්දෙ මුලදි කරපු දේවල් හරියට අද ඊයෙ කලා වගේ.ඒ තරමටම කාලය කෙටි වෙල වගේ.

කට්ටිය බලයි මොකද මේ මාතෘකාවට "අද තමයි හොදම දවස"  කියල දැම්මෙ කියල.කතාව මේකයි, අපිට ආපස්සට මේ අවුරුද්ද දිහා හැරිල බලන්න තියෙන හොදම දවස අදයි.ඒ මොකද අද 2011 දෙසැම්බර් 31 ඒ කියන්නෙ මේ අවුරුද්දෙ අවසාන දවස.හෙට අලුත් අවුරුද්දක් පටන් ගන්නව අලුත් බලාපොරොත්තුත් එක්ක.ඉතින් අන්න ඒ නිසා අපිට පුලුවන් අද දවසේ අපි මේ අවුරුද්දෙ අපේ ජීවිතයට ලබා ගත්ත හොද දේවල් මොනාද?,නරක දේවල් මොනාද?,අපි පැරදුන තැන් කොතනද? ඔන්න ඔය වගේ දේවල් ගැන නැවතත් ආවර්ජනය කරල ඊළග අවුරුද්දට සාර්ථකව මුහුණ දෙන්න.
ගිය සතියෙ අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් උනා.ටික දෙනෙක් කැම්පස් තේරුණ.තවත් ටික දෙනෙක් කැම්පස් යන්න ලකුණු ටිකක් මදි වෙන්න ඇති.තවත් අයට විෂයන් 3ම නැතිව ඇති. ඒත් අපි කවුරුත් අසමත් වෙලා නෑ.උසස් පෙළ කියන්නෙ ජීවිතේ තවත් එක කඩයිමක් විතරයි.කැම්පස් තබා සාමාන්‍යපෙළ වත් පාස් නැති සමහර අය අද ධනවත් ව්‍යාපාරිකයො වෙලා ඉන්නව.ඒක ඔයාලත් දැකල ඇති.අද අපේ දෙමව්පියො,ගුරුවරු,නෑදෑයො,සමාජෙ ඉන්න මිනිස්සු හිතන්නෙ උසස් පෙළ පාස් වෙලා කැම්පස් යන්න බැරි උනාම ඌට මුකුත් බෑ කියල.(ඒ අත්දැකීම් මටත් තියෙනව) ඒත් ඇත්ත කතාව ඒක නෙමෙයි.

කැම්පස් යන්න බැරි උන නංගිල මල්ලිල ඉන්නව නම් මේ දේ හොදට හිතට ගන්න. දුක් වෙවී ඉදල නම් වැඩක් නෑ.අදම ගේමට බහින්න.ආයෙ උසස් පෙළ කරනව නම් අදම හිතාගන්න මම මේ අවුරුද්දෙ කොහොමහරි උසස් පෙළ ගොඩ දාගෙන කැම්පස් යනව කියල.කැම්පස් යන්න අකමැති අයත් ඉන්නවනේ (මම වගේ) ඒ අයට පුලුවන් තමන් කැමති වෘත්තීය පැත්තකට යොමු වෙන්න.ඒ කියන්නෙ මෝටර් කාර්මික,පරිගණක,ඉදිකිරීම තාක්ෂණය වගේ ගොඩක් පාඨමාලා තියෙනව ඒ අයට කරන්න.ඇත්තමට අපි දන්නෙ නෑ අපි  දක්ෂ මොනවටද කියල.

තවම තීරණයක් අරන් නැති අයට අද තමයි හොදම දවස.මේ අවුරුද්ද ගැන ආපහු හිතල බලන්න.ඔයාට වැරදුන තැන්,අතපසු උන තැන් ඒවගෙන් ලබපු අත්දැකීම් එක්ක ඔයාට පුලුවන් ලබන අවුරුද්දෙ ඔයාගෙ ජීවිතය සාර්ථක කරගන්න.ඒ කියන්නෙ හෙට ඉදල.

තවත් දෙයක් (මේක මගේ මතයක්) ඔය පත්තර වල එහෙම තියෙනව ඔයාට 2012 මෙහෙමයි,ඔහොමයි කියල. ඒව ගැන නම් වැඩිය හිතන්න එපා.ඒවගේ තියෙනව ආර්ථික අතින් අමාරු වෙන්න පුලුවන්,ආදරය අවුල් වෙන්න පුලුවන්.ඇත්තටම ඒව වෙන්න පුලුවන්ද? ඒක තියෙන්නෙ අපේ අතේ.අපි ගමු ව්‍යාපාරයක් කරන කෙනෙක් එයා පොඩ්ඩක් කම්මැලි කමෙන් තමයි ව්‍යාපාරෙ කරන්නෙ.එතකොට ඉතින් එයාගෙ ලාබෙත් අඩු වෙනවනෙ. ඉතින් ඔන්න මිනිහට ආර්ථික අපහසුකම්.ඔන්න ඉතින් මිනිහටත් හිතෙනව ආ..පත්තරෙ තිබ්බ කතාව නම් ඇත්ත තමයි කියල. ඒත් ඒක සම්පූර්ණෙන්ම වැරදියි.මොකද ආර්ථික අමාරුකම් කරගත්තෙ මිනිහගේ අතින්ම නේද? ඔන්න ඕකයි සැබෑ තත්වෙ.

අන්තිමට කියන්නම් මේ දේ රැකියාවක් කරන කෙනෙක් උනත්,ඉගෙන ගන්න කෙනෙක් උනත් හිතන්න ඕන හෙට ඉදන් උදා වෙන අලුත් අවුරුද්දෙ අපි මොනාද කරන්න බලාපොරොත්තු වෙන්නෙ කියල.ජීවිතයට ඉලක්කයක් තියා ගන්න.ගොඩක් අය කරන්නෙ "දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න එකනේ" අපිට ඊට වඩා වෙනස් වෙන්න පුලුවන්.ජීවිතේ කියන්නෙ බලාපොරොත්තුත් එක්ක ජීවත් වෙන එක කියලයි මට හිතෙන්නෙ.අනික ජීවිතය විදවන්න එපා.ජීවිතය විදින්න. සමහර අය තමන්ට නොලැබුන දේ ගැන හිත හිතා මුලු අවුරුද්දම ගෙවනව.හැබැයි එයාලගේ ආයු කාලය ඉතා කෙටියි.ඒ නිසා මේ අවුරුද්දෙ ඔයාට නැති උන දේවල් ගැන හිතන්න එපා. ඔයාට ලබන අවුරුද්දෙ ලැබෙන්න තියෙන දේවල් ගැන හිතන්න.එතකොට ජීවිතේ හරිම ලස්සන වේවි. එහෙනම් මේ අවුරුද්දට මෙච්චරයි.අපි ලබන අවුරුද්දෙදි හම්බ වෙමු.ඒ වගේම මගේ Blog අඩවිය සමග පුරා වසරක් රැදී සිටි ඔබ සැමට මාගේ ස්තුතියිය.

ඔබ සැමට සාමය සතුට පිරි,අනාගත පැතුම් ඉටු වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා... !


Read more